බලය තහවුරු කර ගැනීමේ ව්‍යවස්ථාවකට ජනතාව විරුද්ධයි

Radio Gagana, 25 July 2017

දේශපාලන පක්ෂ වල බලය තහවුරු කරගැනීමට හෝ දේශපාලකයන්ට බලයේ රැදී සිටීම වෙනුවෙන් අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් එයට ජනතාව විරෝධය දක්වන බව සිවිල් සමාජ ක්‍රියාධරයෙක් පවසයි.

ජනතාවගේ දිගු කාලීන ප්‍රශ්න වලට විසදුම් ලැබෙන ආකාරයේ අලුත් ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ජනතාව පෙන්වා දෙන බවයි AFRIEL ස්වේච්ඡා සංවිධානයේ ක්‍රියාකාරී සාමාජික රවීන්ද්‍ර ද සිල්වා පවසන්නේ.

ඔහු ඒ බව සදහන් කළේ නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස රජයට බල කිරීම සදහා 24 සඳුදා පාර්ලිමේන්තුව ඉදිරිපිට දී පැවැති නිහඩ විරෝධතාවයකින් පසු මාධ්‍යවේදීන් අමතමිනි.

එම විරෝධතාවය සදහා සිංහල, දෙමළ හා මුස්ලිම් තරුණයන් පිරිසක් එක්ව සිටියේය.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම, ජනතාවගේ දේශපාලන, සමාජ, ආර්ථික සංස්කෘතික අයිනිත් තහවුරු කර ඒවා මුලික අයිතිවාසිකම් ලෙස ගෙන ඒම, දුෂිත මැතිවරණ ක්‍රමය ඉවත් කර නව මැතිවරණ ක්‍රමයක් හදුන්වා දීම, මැතිවරණ ක්‍රමය තුළ තරුණ හා කාන්තා නියෝජනයට අවස්ථාවක් ලබා දීම හා ස්වාධින කොමිෂන් සභා සියල්ල තව දුරටත් ශක්තිමත් කිරීම ආදී ඉල්ලිම් මුල්කරගනිමින් එම විරෝධතාවය පවත්වා තිබුණි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ ඉඩම් සහ පොලිස් බලතල මෙන්ම මුල්‍ය සහ පරිපාලන බලතල ඇතුලත් බලය බෙරා හැරීමේ ක්‍රියාවලියකට ආණ්ඩුව මැදිහත් වනු ඇතැයි ඔහු එහිදී විශ්වාසය පල කළේය.