රක්‍ෂිතයට යට කෙරෙන කුංචිකුලමේ ජීවිත

22 May 2017, The Catamaran

දිලීෂා අබේසුන්දර

‘ජෝර්ජ් මහ රජා-ගුණකඳ කරමු සිහි සොඳා’ නිදහස ලැබීමට පෙර අවධියේ පාසල් සිසුහු, හැම උදෑසනකම එසේ ගැයූහ. නිදහස ලබා වසර 69කට පසුව, තමන්ගේම පාලකයන්ගේ තීරණවලින් බැට කන කුංචිකුලමේ ගම්වැසියන්ට එලෙස ගයන්නට සිදු වීම ඉතිහාසයේ සරදමකි.

ඒ පොළොවට ඇති ඔවුන්ගේ අයිතිවාසිකම කෙතරම් බලසම්පන්නද යත්, එදා හිරු නොබසින අධිරාජ්‍යයෙහි කිරීටය දැරූ 2වන ජෝර්ජ් රජ්ජුරුවන් පවා ඊට අභියෝග කළේ නැත. එහෙත් ඊට වසර 90කට පසුව, ජනතාව විසින්ම පත් කරගත් ආණ්ඩුව ඔවුන්ගේ අයිතිවාසිකම උදුරාගන්නට පිඹුරුපත් සකසමින් සිටී.

වවුනියාව මන්නාරම පාරේ, වව්නියාව නගරයේ සිට කිලෝමීටර් 35 දුරකින් කුංචිකුලම්හි ‘පෙරියමරිප්පු මාතා’ ගම්මානය පිහිටියේය. අඩුම තරමින් වසර 450කට වත් පෙර සිට, තම මුතුන් මිත්තන් එම පොළොවෙහි ජීවත් වූ බව එහි වැසියෝ විශ්වාස කරති. එයින් මෑත වසර 90හි අයිතිවාසිකම, ලිඛිතව තහවුරු කිරීමට සාක්ෂි ඔවුන් සතුය. ඔවුන් සතු ඔප්පුවල ඇත්තේ, මෙරට යටත් විජිතයක්ව පැවති 2වන ජොර්ජ් රජුගේ සමයෙහි බි‍්‍රතාන්‍ය රාජධානියේ නිල මුද්‍රාවය.

අධිරාජ්‍යවාදී සුද්දා පිළිගත් හිමිකම, නිදහස්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජවාදී යැයි කියන කළු සුද්දන්ගේ ආණ්ඩුව විසින් නීතියට මෙන්ම සදාචාරයටද පටහැනි ලෙස උදුරාගනිමින් සිටී.

යුද්ධයෙන් අවතැන් වූවෝ

තිස් වසරක යුද්ධයේ බිහිසුණු අත්දැකීම්වලට මුහුණ දුන් කුංචිකුලම් වැසියන්ට, බොහෝ කලක් සිය උරුමය අතහැර පලාගොස් සරණාගතයන් ලෙස දිවි ගෙවීමට සිදු විය. යුද්ධයේ අඳුරු සෙවණැලි ටිකෙන් ටික පහව යද්දී අවතැන් වී සිටි ගම්වැසියෝ නැවත සිය ජන්ම භූමිය කරා ඇදී ආහ. එසේ පැමිණි ඔවුන්ට දකින්නට ලැබුණේ එදා අතහැර ගිය ගම්මානය නොවේ. මුළුමනින්ම විනාශ වී ගිය, වනගත වුණු ගම්මානයකි. එසේ වුවද මහත් දුෂ්කරතා මැද ඔවුහු යළි ජීවිතය ගොඩනගාගනිමින් සිටියෝය. අද වන විට කුංචිකුලම්හි පවුල් 300ක් පමණ වාසය කරයි.

නිවෙස් මැදින් මායිම් යන ලෙස රක්ෂිත ගල් සලකුණු කිරීම හාස්ය ජනකය.

2013 වසරේ දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් කුංචිකුලම් ගම්මානයේ වැසියන්ට අයත් ඉඩම් රක්ෂිත ඉඩම් ලෙස නම් කර රක්ෂිත සීමා ලකුණු කරන්නට කටයුතු කර තිබේ. මේ නිසා අද මෙහි ජීවත් වන පාරම්පරික උරුම හිමිකම් ඇති ජනතාවට සිදුව තිබෙන්නේ බලවත් අසාධාණයකි. වන සංරක්ෂිතයක් ලෙස මේ වන තෙක් ගැසට් කර නොමැති වුවත් නුදුරේදීම එය ගැසට් කිරීමට නියමිතව ඇත. මුල්ලිකුලම්, මරිච්චකට්ටු ප‍්‍රදේශ වන සංරක්ෂිතය යටතට ගැනෙන බව පමණක් නිවේදනය කර තිබේ.

නීත්‍යානුකූල ඉඩම් ඔප්පු සහිත ජනතාව දීර්ඝ කාලයක් පදිංචිව සිටින ඉඩම් කිසිදු වගවිභාගයකින් තොරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගැනීම නීතියට පටහැනි ක‍්‍රියාවකි. එම ජනතාවගේ අයිතිය මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් පමණක් නොව නීතියටද පටහැනි කි‍්‍රයාවකි.

කුංචිකුලම්හි ශාන්ත මරියා දේවස්ථානයට අයත් භූමිය සහ මන්නාරම අගරදගුරුට අයත් අක්කර 70ක භුමි ප‍්‍රදේශය රක්ෂිත ප‍්‍රදේශ යටතට නොගැනුණේ ඇන්තනී සොසෙයි පියතුමාගේ විරෝධය නිසාය. එහෙත් ගම් වැසියන්ගේ ඉඩම් සහ වගා බිම්වල රක්ෂිත මායිම් ලකුණු කර තිබෙන අන්දම එහි ගිය අපට දැක ගන්නට ලැබුණි. පල්ලිය සතු ඉඩම් නිදහස් කර ගැනීමෙන් නිහ`ඩ නොවුණු ඇන්තනී සොසෙයි පියතුමා අසාධාරණයට ලක් වූ වැසියන්ගේ අයිතිය වෙනුවෙන් තරයේ පෙනී සිටී.

අත්තනෝමතික තීරණයක්

‘‘පල්ලිය තිබුණු ඉඩමෙත් රක්ෂිත මායිම් සලකුණු කරන්න වන සංරක්ෂණ එකෙන් ආව වෙලාවෙ මම විරුද්ධ වුණා. රක්ෂිත මායිම සලකුණු කළොත් නඩු දමන බව මම කිව්වා. ඒ නිසා දේවස්ථාන භුමියේ මායිම් ලකුණු කළේ නැහැ. නමුත් මිනිස්සු ඉන්න ඉඩම්වල, ඔවුන් වගා කරපු ඉඩම්වල රක්ෂිත මායිම් වෙන් කර තිබෙනවා. මේ නිසා මිනිස්සුන්ට වගාවක්වත් කරගන්න බැරිව අසරණ වෙලයි ඉන්නෙ. මේ ගමේ මිනිස්සු වැඩි දෙනෙකුට බි‍්‍රතාන්‍ය ඉඩම් ඔප්පු තියෙනවා. ආණ්ඩුවට බදු ගෙවලා තියෙනවා.’’

ඇන්තනී පියතුමා ඔහු සතුව තිබෙන දේවස්ථාන ඉඩමේ පැරණි ඔප්පුව අපට පෙන්වීය. එම නීත්‍යානුකූල ඔප්පුවේ වර්ෂය 1927 ලෙස දක්වා තිබුණි. ලංකාව බි‍්‍රතාන්‍ය යටත් විජිතයක්ව පැවති සමයේ දී බි‍්‍රතාන්‍ය රජයේ නිල මුද්‍රාවද එහි විය.

ඔහුගේ ඉඩම අක්කරයකි. එහෙත් ඔහුට වගා කරන්නට හැකියාවක් නැත
මේ රක්ෂිත මායිම් ලකුණු කිරීමේ ක‍්‍රියාවලියෙහි බරපතළ පරස්පරතාවක් තිබේ. එක් පැත්තකින් පාරම්පරික ඉඩම් බලහත්කාරයෙන් රක්ෂිත යැයි නම් කරද්දී අනිත් පැත්තෙන්, රක්ෂිත යැයි නම් කළ භුමි ප‍්‍රදේශයේ ආණ්ඩුව විසින් නිවාස ව්‍යාපෘතියක්ද ආරම්භ කර ඇත. රක්ෂිතයක් ලෙස නම් කර ඇත්නම් ආණ්ඩුව නිවාස ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරන්නේ කෙසේද?

‘‘ අපිට දැනගන්න තියෙන විදිහට යුද්ධයෙන් පස්සෙ වන සංරක්ෂණ එකෙන් හෙලිකොප්ටර් එකෙන් උඩින් ඇවිල්ලා තමයි රක්ෂිත නම් කරලා තියෙන්නෙ. යුද්ධය කාලයක් තිස්සේ තිබුණු නිසා මෙහෙ වදුල වෙලා තියෙන්න ඇති. එහෙමයි කියලා මිනිස්සුන්ගේ වාස භුමියක් නෙවෙයි කියන්න හැකියාවක් නැහැ. මේ මිනිස්සුන්ගේ ජීවනෝපාය කරගෙන යන්න විසඳුමක් අවශ්‍යයි. දැන් ඔවුන්ගේ වගා බිම් තියෙන්නෙ රක්ෂිත ප‍්‍රදේශ තුළයි.’’ ඇන්තනි පියතුමා පවසයි. එතුමා මේ පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවටත් ජනාධිපති තුමාටත්, මානව හිමිකම් කොමිසමටත් ලිඛිතව දැනුම් දී ඇති නමුත් කිසිදු ප‍්‍රතිචාරයක් ලැබී නැත.

ඒව එහෙමයි- මේව මෙහෙමයි

මිනිස්සුන්ට අයිති ඉඩම් සහ වගා බිම් රක්ෂිත යැයි නම් කරන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ඒ ආසන්නයේ දැවැන්ත ලෙස කැලෑ කපද්දී වගේ වගක් නැතිව සිටින බවට ජනතාව චෝදනා කරති. මේ වන විට වේපන්කුලම් දක්වා කිලෝමීටර් හතරක පමණ ප‍්‍රදේශයක කැලෑ පෙදෙස ඔවුන් විසින් කපා ඉවත් කර තිබේ. ගම්වැසියෙක් සඳහන් කලේ පුත්තලමින් පැමිණි මුස්ලිම් ජාතිකයින් පිරිසක් රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයාගේ සහාය මත මෙය සිදු කරන බවකි. එම ඉඩමට අනෙක් පැත්තෙන් තිබෙන වගා ඉඩම් රක්ෂිතයට ගැනෙද්දී වන සංහාරයක් සිදු කරන මේ ඉඩම් වන සංරක්ෂණයට නොපෙනීම පුදුම සහගතය.

මිනිසුන්ගේ වගාබිම් සහ එළිපෙහෙලි කරමින් තිබෙන බිම් අතර පිහිටි අගරදගුරු ඉඩම සහ ඇන්තනී පියතුමා විසින් ඉදිකර ඇති දේව කුටිය ඉදිකිරීම සඳහා වන සංරක්‍ෂණය ඉඩ දී තිබේ. නිලධාරීන්ට අවශ්‍ය නම්, ඉඩම් රක්‍ෂිත කිරීම හෝ නොකිරීමට හැකියාව තිබෙන බව මේ අනුව පැහැදිලිය.

නිවසින් අඩක් ‘රක්ෂිතයේ’

කුංචිකුලම් ගම්මානයේ නිවෙස් කිහිපයකට අපි ගියෙමු. එම නිවෙස් පසුගිය වසරේ පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් අමාත්‍යාංශය යටතේ කි‍්‍රයාත්මක කරන ලද නිවාස ව්‍යාපෘතියේ නිවාසය. එම නිවෙස් මැදින් මායිම් යන ලෙස රක්ෂිත ගල් සලකුණු කිරීම හාස්‍යජනකය. නිවෙසින් භාගයක් රක්ෂිතයට අයත් වන අතර භාගයක් රක්ෂිතයට අයත් නොවේ.

ක‍්‍රිෂ්ණපිල්ලෙයි (47) ගේ පවුල මෙම ගම්මානයට පැමිණ බොහෝ කල්ය. ඔවුනටද ආණ්ඩුවේ ඉඩම් ලැබී තිබේ. එම නිවෙස ආසන්නයේද රක්ෂිත ගලකි.

මන්නාරම ප‍්‍රාදේශීය ලේකම්

‘‘ගිය අවුරුද්දේ ස්වාමිනාදන් ඇමතිවරයා තමයි මේ ගෙවල් දුන්නෙ. ප‍්‍රාදේශීය ලේකම් කර්යාලයේ ලියාපදිංචි කෙරුවා. අපිට රක්ෂිත පැත්තෙ වගා කරන්න කැලේ කපන්න එපා කිව්වා. යුද්දෙට කලින් 1966දි තමයි තාත්තලා මේ ඉඩමට ඇවිත් තියෙන්නෙ. 1967 ඉඳන් 91 වෙනකල් ඔප්පුව අලූත් කරලා තියෙනවා. පස්සෙ යුද්ධය නිසා අපි අවතැන් වුණා. අපිට ඉඩම් බලපත‍්‍රයක් තියෙනවා. ඔප්පුව ගැන ඇහුවම ඔප්පුව වගේ තමයි බලපත‍්‍රය. බය වෙන්න එපා කියලා දිස්ති‍්‍රක් ලේකම්තුමා කිව්වා.’’

ක‍්‍රිෂ්ණපිල්ලෙයිගේ ඉඩම අක්කරයකි. එහෙත් ඔහුට වගා කරන්නට හැකියාවක් නැත. ඒ නිසා බිරිඳත් සිව් වියැති පුතුත් රැුක බලා ගැනීම සඳහා ඔහු කුලී වැඩවල නිරත වෙයි. ඔහුගේ බිරිඳ වන අරුල්සවතී පිළිකා රෝගයෙන් පෙළෙන නිසා අමතර වියදමක් දරන්නටද ඔවුනට සිදුව ඇත.

‘‘ඉඩම් ටික සුද්ද කරගෙන වගා කරගන්න පුළුවන් වුණොත් ජීවත් වෙන්න පුළුවන්. නැත්නම් බැහැ. වතුර නැහැ. කිලෝ මීටර බාගයක් විතර යද්දී පොඩි ළිඳක් තියෙනවා. ඒකෙ අඩියේවත් වතුර නැහැ. පවුල් 15ක් විතර වතුර ගන්නෙ ඒ ළිඳෙන්.’’

අනේකවිධ අපහසුතා මධ්‍යයේ සිය ජීවිත ගැටගසා ගන්නට අපරිමිත උත්සාහයක් ගන්නා මේ ජනතාවට ස්වෝත්සාහයෙන් නැගී සිටින්නට සුළු හෝ සහායක් නොදෙන බලධාරීන් වර්තමානයේ කරමින් සිටින්නේ ඔවුන කබලින් ළිපට ඇද දැමීමක් මිස අන් කවරක්ද? රක්ෂිතයක් ආරක්ෂා කිරීම ආණ්ඩුවේ වගකීමක් වන්නා සේම ජනතාවගේ ඉඩම් අයිතිය ආරක්ෂා කර දීමද අනිවාර්ය වගකීමක් නොවන්නේද?

පැමිණිලි ලැබී නෑ

මන්නාරම ප‍්‍රාදේශීය ලේකම් ඒ.වයි.එස්. දේශප‍්‍රිය කියන්නේ මේ පිළිබඳ පැමිණිලි ලැබී නෑ කියාය.

‘‘මේ පිළිබඳව හොයලා බලන්න බලලා තමයි උත්තරයක් දෙන්න වෙන්නෙ. මට පැමිණිලි කිසිවක් ඇවිත් නැහැ. දිගටම කැලෑ මනිනවා. මැනලා ගල් දාලා යනවා. සමහර ස්ථානවල මිනිස්සු විරෝධතා ඉදිරිපත් කළොත් ප‍්‍රාදේශීය ලේකම්ලා විසින් පරීක්ෂා කර බලා මායිම් වෙනස් කරනවා. විල්පත්තු අරහෙ මෙහෙ ප‍්‍රශ්න ඇති වෙලා තියෙන්නෙ ගැසට් කළාට පස්සෙනෙ.

මේවා හරියට බලන්න එපායැ. පුත්තලමෙන් එන මිනිස්සුද මෙහෙම පදිංචි අයද කරන්නෙ කියන එක හරියටම බලන්න ඕනෙ. මිනිස්සු කියන කතා ඇත්තද අනිත් මිනිස්සු කියන්නෙත් ඇත්තම කතාවද කියල බලන්න ඕනෙ. කියන විදිහ නෙවෙයිනෙ කෙරෙනකොට. ’’